බටහිර ආධිපත්‍යයෙන් ගැලවෙනු පිණිස අප ගෙන යන සටන දින නියමයක් නැති එකකි. කවදා කොතැනින් අවසන් වේ දැයි සිතිය නොහැකිය. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට විරුද්ධව ගෙන ගිය සටනේ එක් අදියරයක් 1948දී අවසන් වූයේ කළු සුද්දන්ට දේශපාලන බලය අත්කර දීමෙනි. එදා දේශපාලන නිදහස ලැබුණා යැයි කීවත් ආර්ථික නිදහස ලබා ගැනීම උදෙසා තවදුරටත් සටන් කළ යුතු යැයි කන් කෙඳිරියක් ඉතිරි විය.
ලේ බිඳකුදු නොසොල්වා 1948දී ජාතික නිදහස ලබාගත් නමුත් එය අංග සම්පූර්ණ වූයේ 1972 ශ්‍රී ලංකා ජනරජය පිහිටුවීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්මතයෙන් බව නැවත ප්‍රකාශ විය. රැජනගේ ආණ්ඩුව ජනරජයක් වූයේ එදාය. 1978දී කිසිවකුගේ හෝ අනුමැතියක් නොමැතිව ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් සම්මත කරවාගත්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොළොව යට නිධන් කොට තිබෙන ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකාව ස්වාධීන ස්වෛරී ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට පත් විය. සුද්දාගෙන් රට ගලවා ගන්නට තවමත් කරන සටන පසෙක තිබියදී බොහෝ දෙනා කතා කරන්නට අකැමැති ප්‍රශ්නයේ තවත් පැත්තක් තිබේ. මේ උත්සාහය ඒ නීරස දේශප්‍රේමීන් කෝප ගන්වන එහෙත් සත්‍ය කතාව ගැන වචනයක් කියන්නටය.
1948 ස්වදේශිකයන් වූ අප විසින් මෙරට පාලන කටයුතු කළමනාකරණය ආරම්භ කරන විට ලංකාවේ මහා භණ්ඩාගාරය සතු වත්කම්වල අතිරික්තයක් තිබිණි. එය එසේ සඳහන් කිරීමම සුද්දාට ආවැසීමක් ලෙස සැලකීමට ඉඩ තිබේ. නමුත් අමිහිරි වුවත් සත්‍ය කතා කළ යුතුය. මෙරට බි්‍රතාන්‍ය පාලනය පැවතියේ 1802 - 1948 දක්වා වසර 146ක් පමණි. දේශප්‍රේමීන් උරණ වුවත් නැතත් සියවස් එකහමාරක් තුළ ගොඩනැඟූ බොහෝ දේ බි්‍රතාන්‍යයන් අපට ඉතිරිකර දී ගියේය. ඒ කවරෙක්ද යත්, ලංකාවේ සියලුම නගර යා කෙරෙමින් දිවෙන මාර්ග පද්ධතිය, එංගලන්තයේ හා සමානවම දියුණු වූ උතුර - දකුණ, නැඟෙනහිර, බස්නාහිර යා කළ දුම්රිය මාර්ග පද්ධතිය, කොළඹ නගරයේ ට්‍රෑම්කාර් ජාලය, කොළඹ යුනිවර්සිටි කොලීජිය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, අධිකරණ පද්ධතිය හා පරිපාලන සැකැස්ම හා තැපැල් සේවයද, අක්කර ලක්‍ෂය ඉක්ම වූ ආර්ථික බෝග වගාවක්ද ඒ අතර විය.
අපි තවත් දින කිහිපයකින් ජාතික නිදහස සමරන්නට සූදානම් වෙමින් සිටිමු. සුද්දා අත්හළ තැන් සිට ආපසු හැරී බලන විට ගෙවුණු වසර 70 තුළ අප කර ඇත්තේ කුමක්ද? අප ගමන් කරන්නේ කවර දිශාවකටද? 19 වතාවක් අණ්ඩ දැමූ ව්‍යවස්ථාවක් කර ගසාගෙන යන්නේ කොහේද? අප අපෙන්ම අසා විමසා බැලිය යුතුය.
දැනට ශ්‍රී ලංකාවට වඩා බොහෝ ඉදිරියෙන් සිටින සිංගප්පූරුව, චීනය, මැලේසියාව, කොරියාව, ජපානය ආදී බොහෝ රටවලට 1948දී අපට තිබූ වාසිසහගත තත්ත්වයන් තිබුණේ නැත. ඔවුන් සිටියේ නොදියුණු භාවයේ බරපතළ අගාධයකය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ගැනත් අතීත ශ්‍රී විභූතිය ගැනත් පාරම්බාන අප වසර 70ක් කළේ කුමක්දැයි අපෙන්ම අසා බැලිය යුතුයි. දේශපාලන බලය උදෙසා කුළල් කා ගනිමින් දහ ෙදාළොස් වතාවක් ආණ්ඩු මාරු කර තිබේ. සෑම ආණ්ඩුවක්ම එකිනෙකා හා තරග වැදෙමින් රටේ භෞතික සම්පත් කුණු කොල්ලයට විකුණා දමා තිබේ.
තඹ සතයක් විදේශයන්ට ණය නොවූ රටක් බිලියන ගණනාවක විදේශ ණය ඇති රටක් බවට පත්කර තිබේ. බටහිර ආධිපත්‍යයෙන් ගැලවීමට කරන සටනත් රට දෙකට කඩනවාට එරෙහි සටනත් අවුරුදු 70 තුළම ඇදගෙන යන අතර අවුරුදු 26ක් තිස්සේ ගෙන ගිය සිවිල් යුද්ධයෙන් ලබාගත් කිසිදු ජයග්‍රහණයක්ද නැත.
අසමඟිය, සැකය හා අවිශ්වාසය ලාංකේය ජාතියේ නිධන්ගත රෝග බවට පත්ව තිබේ. ගෙවුණු කාලය මුළුල්ලේ ජාතීන් අතර සංහිඳියාව ගැන කතා කළත් එය තවමත් දිනාගත නොහුණු ධර්මතාවකි. මහජන මුදල් අවභාවිතය, දූෂණය හා වංචාව ගැන අපි දේශපාලකයන්ට සාප කරමින් සිටිමු. වරද කොතැනද, වැරැදුණේ කොතැනද යන්න අප විසින් නැවත විභාග කළ යුතුය.
රට වැටී ඇති අවාසනාවන්ත තත්ත්වයට වගකිවයුත්තේ පාලකයන් පමණක්ද යන්නත් නැවත සිතා බැලිය යුතුය. ජාතියේ සංවර්ධන ප්‍රමුඛතා තීරණය කිරීමේදී සිදුකර ඇති මහ පරිමාණ වැරැදිවලට රාජ්‍ය නිලධාරීන්ද වගකිවය යුතුය. මහජන මුදල් කළමනාකරණය හා භාවිතය පිළිබඳ අපරිණතභාවය පිළිබඳ වගකීම ඍජුවම එල්ල වන්නේ ප්‍රතිගාමී නිලධාරි පැලැන්තියටය. සුද්දා නතර කළ තැනින් රට ආපස්සට ගෙන යෑමට දායක වූ නිලධාරි පැලැන්තිය තවමත් රජ වී සිටිති. සැබෑ ලෙසම ජාතික නිදහස අහිමි කළවුන් කවරුන්ද යන්න නැවත විමසා බැලීමට වඩාත් සුදුසු දිනය වන්නේ ජාතික නිදහස් දිනයයි.
No comments:
Post a Comment